Archive for August, 2015

පෙති හැළුණු ජීවිතය !!

11350556_778704158911378_8970290964587402387_n

මගේ ම වු ලෝකයක
මා තුටින් සිටිය දී
‘ඔවුහු’ මට ‘පිස්සා’ ය කීහ.

එයින් පසු මෙහෙයුම ඇරඹිනි.

බෙහෙත් පෙති ටොන් ගණන් හෙළා
සිහින කඳුවැටි සමතළා කෙරිණි
එන්නත් කටු වලින් ඇණ
සුරඟනන් සමනළුන් ඝාතනය කෙරිණි
සේලයින් දියෙන් තනුක කොට
නහර ගත අමෘතය බෙලහීන කෙරිණි
ක්ෂීරපථයෙන් එපිට සැරිසැරූ ආත්මය
විදුලි සැරයකින් ඇද කූඩු කරනා ලදී

දැන් මා ‘ඔවුන්’ ගේ ලෝකයේ ය.
ජීවිතය කියන්නේ මේක ලු ය.

දෙන දෙයක් කෑ යුතුය, කියන දේ කළ යුතුය
වැඩිත් නොසිතුව යුතුය, යන අතට යා යුතුය

සමනළුන් හා එක්ව සෙනසුරුට පියඹන්න
ප්‍රොමිතියස් හා එක්ව සොරාගත් ගින්දරෙන්
දුම්වැටිය අවුළන්න
නොහැක මට සුරඟනන් හා එක්ව
රාගනිශ්‍රිත ගීත මුදු හඬින් මුමුණන්න
සින්ඩරෙල්ලා සොයා සපත්තුව පළඳන්න
ස්පාටකස් හා එක්ව සටන් වැද ජය ගන්න
කල්වාරි මුදුණතෙහි ජීසස්ට සම වෙන්න
දිනපතා මියැදෙන්න උත්ථානගත වෙන්න
සන්තානයට උරුම නිදහසේ කිමිදෙන්න,
නොහැක මට …

ජීවිතය කියන්නේ මේක ලු ය.
දැන් මා ද ඔවුන්ගෙන් එකෙක් ලු ය…. !!

~ රුවන් නෙලූ

30/05/2015

Advertisements

ඕං බෝසත් කම !

pc541

පැතුම බුදු බව උනත්
දරුවන් ව දන් දෙද්දි
ඒක බිස්නස් එකක්

ඉතිහාසයට උත්තර
දියන් වෙස්සන්තර

දරු දෙදෙන කියන්නේ
උඹට තව දේපළක්
හැඟීමක් දැනීමක්
උඹට නැති මස් ගොඩක්

දරුවන්ට වහල් කම
උඹට මතු බුදු කම
දස පාරමිතා මැද
මියගිහින් මිනිස්කම

~ රුවන් නෙලූ

02/08/2014


සිංහයා ….

The-LION-Brewery-Ceylon-PLC-

කොළඹ වීදිය කොණක
යකඩ පාළම මෙපිට
බීර හල් දොරක සිට
දිනක් මට සිංහයෙක් ඉඟි කළා

බීර වීදුරු හතක්
තැම්බු කඩලත් සමඟ
හිස් කළායින් පසුව
සිංහයා හෙමින් දොඩමළු වුණා

කන්තෝරු වහල යට
ලොක්කන්ගෙ දෙපා මුල
නූහුලන අපහාස
විඳින්නෙ ලු සිංහයා
ලයිට් බිල් වතුර බිල්
ගෙවල් කුළි හාල් පොල්
පඩි පතෙන් විසඳන්න
බැරුවාලු සිංහයා

සුප්පාට අකැමැති ලු අම්මා
ගෙදරම ලු නංගිලා දෙන්නා
හොරෙන් කැන්දාන ආ
ආදරේ පහු දොරින්
පැන ගිහින් යැයි කියයි සිංහයා

සිංහ බා නූපන් ශෝකයෙන්
සුප්පාව කෙරෙහි ම කෝපයෙන්
හතර ගාතෙන් ගෙදර ගොඩවී
තළනව ලු සුප්පාට සිංහයා

පරපුරක අවසාන පුරුක ලු
විසඳුමක් පේන මානෙක නෑ ලු
හිර කරපු හිතක් මී විතක් ළඟ දිග ඇරන්
සුසුම් ලා හිනා වුණි සිංහයා

~ රුවන් නෙලූ

28/08/2014


ඉතිහාසය යනු ?

11880157_818898581558602_1408605596_n
ඉතිහාසයක් කියන්නේ
තෝරාගැනීමකටය
තේරීම දඩයක්කරුගේය

මම මුවා දුටුවෙමි
හඹාගියෙමි
විද හෙළූයැමි

මිසක,

දුනු හී දැරූවෙකු දුටිමි
පැනගියෙමි
ඇළපත දෙසින් වේදනාවක් දැණිනි

කියන්නට කෙනෙක්
ඉතිරි නොම වේ මය

විජිත පුර බලකොටුව බිඳ හෙළූ දා
කිතුලෙන් වැටී කොන්ද බිඳගත්
සේතුවා කවරෙක් හඳුනයිද

කඩොලැතු මතක මුත්
එළාරගෙ ඇතුගෙ නම
කී දෙනෙක් හට වැදගත්ද

ඉතිහාසයක් කියන්නේ
තෝරාගැනීමකටය
තේරීම දඩයක්කරුගේය

වීරයින් සාපේක්ෂය
කාලානුරූපව බිඳ වැටෙන සුළුය

ඉතිහාසගත වීරයින් ගැන
කවර නම් කතාද තව

මොහොතකින් සිරුර
සුණුවිසුනු කරගත්
හසලක ගාමිනී විරුවෙකි
උපවාස කර
දියබිඳක් හෝ නැතිව මියගිය
තිලීපන් ද්‍රෝහියෙකි

කැණිමක ගැඹුර
තීරණය කෙරෙනුයේ
කණින්නා මෙහෙයවන දැක්මය

ඉතිහාසයක් කියවන්න
එහි සත්‍ය නොසොයන්න
ලියූවන් ගේ නෙතින්
උන් දැක්ම කියවන්න

~ රුවන් නෙලූ

22/04/2015

සිද්ධාර්ථ ….. !

dsc08232

සුජාතා හිත හොඳ ගෑණි
ඒත් නුඹ,
ගිල දැමූ පසුව කිරි පිඬු
විසි කළා පාත්‍රය ගං දියට

සිද්ධාර්ථ !

පාත්‍රය උනත්
හැමදා ගලන පහළට ම මිස
නො ඇදිය යුතුය ඉහළට
උඩු ගං බලා පිහිනීම
බුදු කෙනෙක් නොව
අතුරුදන් නමක් පමණක්
ඉතිරි කරනවා ඇත

රාහුලත් වඩාගත් යසෝදරා
රස්තියාදු වනු ඇති
සෙබළ කඳවුරු අසබඩ
පෝස්ටර් අලවයි ඡන්න
‘වහා නිදහස් කරනු!’ නුඹ පිණිස
සුද්ධෝදනගෙ ඇස්
අන්ධ වෙයි මඟ බලා ඉඳලම
ගෝතමී පොල් ගහයි මිරිස් අඹරයි
කාලි මෑණිය පාමුල
වසරකට වරක්වත්
හිත මිතුරු කැළ එක්ව
දෙදරවයි කිඹුල්වත් වට රවුම

පස් මහ බැලුම්
රාහුල සෙල්ලමට ගනු ඇත
පය තැබු තැනෙක නෙළුම්
ඔහේ පරවී යනු ඇත
ලුම්බිණිය තවත් එක
උයනක් ව අමතකව යනු ඇත
සාරාසංඛ කල්ප ලක්ෂයක්
පිරු පෙරුම් අවසන
බඩ කපා සමුදුරට
බිලි කෙරෙනු ඇත

ආපසු හැරීම ද නොහැක

පස්වග මහණු
පාවා දුනැයි නුඹ අරගලය
හත් පොළේ සෙල් ලිපි ලියනු ඇත
ඡන්නයා මුහුණවත් නොබලාවි
රාහුල නුඹව නොහඳුනයි දැනටමත්
බිඳුණු හිත් කැඩපත
පුරුද්දයි යසෝ,
එනමුත්
පිළිබිඹුව පෙර මෙන් නොවනු ඇත

සිද්ධාර්ථ,

බෝසතෙක් වීම ලේසි නැත
සංසාර චක්‍රයෙන්
බුදුන්ටත් ගැළවුමක් නොමැති තැන
වංචාව දිනනු ඇත !

~ රුවන් නෙලූ

07/06/2014


යුද්දයෙන් මැරුණේ මිනිසුන් එකහමාරක් පමණකි – පුවඟු දිවයිනේ රහතුන්

1525771_502236369891493_1829922796_n
දුටුගැමුණු මචං
කෝමද ඉතිං වං හුං
ගේම දැක්කද අපි මෙහේ දුන්
සදා සොත්ථිය මීක් නෑ උං

“හුදෙක් රජ සැප පිණිස නොව මෙය”
එළ ටෝක් එක තාම වැඩ බං!
තෑන්ක්ස් අම්මප හිටිය නං හෙම
දානවා උඹෙ කටේ මසුරං

සොහොං මදිවට ගරු නම්බු තව
උඹත් ඇත්තට පොරක් මඤ්ඤං
දැම්මා ඩෝසර් ගෙටත් කෙරුවා
කතා කරනා එකත් තහනං

ඒ හුකාරිස් බැරිය – මං සුවාරිස් හරිය…?

වගේ නෑ ඒ සීසන්
අමාරුයි දැං සෙල්ලං
තියෙනවා ජාතියක් හිමිකං
මානවද මොනවදෝ මන්දා
මටත් හරියට මතක නෑ බං
(කොලු වයසෙ කීවත් මොකාටද
තියං ඉන්නට මතක පුළුවං?)

උංගෙ කට පුක වැහෙන ගේමක්
උඹ බුලට් එක ගහමු ඒනං

වරෙන් හංදියට යූ එන්
එක්කගෙන අර රහතුන්
“එක හමාරේ තියරි එක”
බස්සලා නඩු බලවලා ගමු බං………

කව්දෝ පිස්සු පොරක් දුටුගැමුණුට යැවූ ඊ මේලයක් හැම එකම ටැප් කරන උගේ මලයා විසින් අහුලාගෙන තිබියදී මෙසේ අපටත් ලීක් විය.

– රුවන් නෙලූ

18/12/2013

මාතෘකාවක් නැති කව 

images

මේ තරම් ලේ ගලාගිය බිමක
වෙව්ලනා දෑතකින් අකුරු කරනා අතර
කවි පෙළක ගලායන රිද්මයක් පිළිබඳව
වෙහෙසෙන්න අවංකව නොහැක මට

කටුක රළු වදන් වැල් අතර මැද
පොරබදන ආත්මය දැකගන්න
තාලයක් නොමැති පද පේළියක් කෙළවරක
ජීවිතය කෙරෙහි බැඳි ආලයක් විඳගන්න

සගය මා නොසොයන්න
මා දරන පාපයේ කුරුස බර දැකගන්න
මේ විඳින වේදනාවෙන් බිඳක් නුඹට ඇණ
දුන්නාට චෝදනා නොකරන්න

සමාවට කරුණු නොම විමසන්න
හමාගිය සුළඟකදි පමා විය ඇහැරෙන්න
මගිය මඟ නොදත් මා අමතන්න
අගය නිම කළ නොහැකි සිහිනයක් තියේ මට
මඟ සොයන අතරතුර පෙන්වන්න

~ රුවන් නෙලූ

28/07/2015