Archive for July, 2016

හෘදයක් නැති දේශයක සාක්ෂිය …

11800396_810824019032725_1720422854859529994_n

 

 

 

 

 

 

 

රේඛීය චලිතයක
ඒකීය උණ්ඩ හිස
වැදී පිපිරුණු පසුව
සිවිල් දන හිස් මතට
ශෝකීය දසුනක්ද ?
කොහෙත් නැත – කොහෙත් නැත

තුවක්කුව ඕකේ
‘තුප්පාකි’ ගත්තොත් සෝකේ
දෑත් බැඳ ළිඳට දා
හිසට ගල් හෙළන විට
වතුර බොර වෙන – නොවෙන
තියරි එහෙමයි සහෝ මේකේ

කන්නට අඳින්නට
කෑම්ප් එක ළඟ පාරෙ යන්නට
‘සිංදුව’ කියන්නට
හැර යමක් ඕනෑද උන් හට

හෙළ සිත නොරිදවා
පෙර තනුව නොවරදවා
‘පර’ කම අවුළුවා
සොයුරු දම් පෙන්නයි කුමරුවා

‘විඩුතලෙයි’ කියන්නේ
මොන හරුප මඟුලක්ද ?
විමුක්තිය ! ඔව් සහෝ,
ඒකෙ නම විමුක්තිය !!

සුවහසක් හෘදයන්
තළා මිරිකූ දිනෙක
ඒ ලෙයින් කිරිබත් ද
පිස වැළඳු දීපයක
දෙවියනුත් සාක්කිය !
මේ තමයි දේශයේ
අමු හෘද සාක්ෂිය !!

නෑ යකුන් එළවුමට
ආටානාටි වෙනුවට
‘ආටිය’ ම සොයා ගිය
ඒකීය දේශයක,

ආනන්ද, ඇසෙන්නෙද වදන් වෙඩි සද්දේ
ඉවරයැයි කීවාට ඉවර නැති යුද්දේ
අඩිය අඟලට තැළූ දැයක ඇස් මත්තේ
සර්පයා පිඹින්නෙලු සාක්කිය හර්දේ !!

~ රුවන් නෙලූ

Advertisements